‘‘අපි කැමති නෑ අපේ නූපන් දරුවන්ව මරන්න. මොකද අපට ඕන එයාලා ඉපදිලා, ලොකු වෙලා, අපේ යුද්ධවලදි යුද වදින්න’’
-මැරලින් මැන්ෂන්
ආගමික විශ්වාස හෝ වෙනත් අන්තවාදී හේතූන් මත ගබ්සාවට විරුද්ධ වන පිරිස හැරුණු කොට යම්කිසි තාර්කික පදනමක් මත මේ ගැන අදහස් දරණ පිරිස ප‍්‍රධාන වශයෙන් කොටසස් දෙකකට බෙදෙනවා. ඒ pro-life (ජීවිතකාමී) සහ pro-choice (අභිමතකාමී) වශයෙන්.
ජීවිතකාමී අදහස් දරණ අය කියන්නේ කළලය යනු ජීවයක් ඇති දෙයක් නිසා එයට ජීවත්වීමට ඇති අයිතිය කොන්දේසි විරහිත ව පිළිගත යුතු බවයි. ඒ කියන්නේ ඒ අය ගබ්සාවට මුළුමණින්ම විරුද්ධයි. අනෙත් අතට අභිමතකාමී අය කියන්නේ තම සිරුර සම්බන්ධ ව තීරණ ගැනීමේ අයිතියක් පුද්ගලයාට ඇති බවයි. ඒ අනුව තම සිරුර තුළ වැඩෙන කළලය තබාගන්නවාද, නැත්නම් ඉවත්කරනවාද කියන තීරණය ගැනීමේ සම්පූර්ණ අයිතිය අදාළ කාන්තාව සතුයි.
මේ කණ්ඩායම් දෙක දැන් අවුරුදු ගාණක් තිස්සේ විවිධ විද්‍යාත්මක කරුණු, දාර්ශනික ගැටලූ, සදාචාරත්මක තර්ක විතර්ක වගේ දේවල් ඔස්සේ තමන්ගේ මතය සනාථ කිරීමේ ව්‍යායාමයක යෙදී ඉන්නවා. මේ වගේ නිමක් නැති වාද විවාදය තුළ කුස තුළ තිබෙන කළලය ජීවිතයක් ලෙස සැලකිය යුතු ද, ඉපදී නැති අයකු ජීවියකු ලෙස සැලකිය හැකිද, කළලයට හැඟීම් දැනීම් තිබෙනවාද, එයට වේදනාව දැනෙනවාද වගේ දරුණු විද්‍යාත්මක හා දාර්ශනික තර්ක විතර්ක තව දශක ගාණක් පවතීවි. ඒත් ඒ දේවල් අමතක කරලා අපට එදිනෙදා මුණගැහෙන ඇත්ත ගැන හිතද්දි එක දෙයක් ගැන වැඩි වාදයකින් තොර ව එකඟ වෙන්න පුළුවන්. ගබ්සාවක දී කළලයට වේදනාවක් දැනෙනවාද, නැත්නම් කළලයට ඒක දැනෙන්නේ කොහොමද කියන එක සමහර විට අපට කවදාවත් දැනගන්න බැරි වේවි. ඒත් කාටවත් ඕන නැති, අඩු තරමේ තමන්ගේ මවටවත් ඕන නැති කෙනෙක් හැටියට උපදින දරුවකුට, ඒ විදියට ඉපදුනයින් පස්සේ ගෙවන්න සිද්ධ වෙන ජීවිතයත්, තමන්ගේ ජීවිතේ කොහෙත්ම බලාපොරෙත්තු නොවුණ වෙලාවක, සමහර විට තමන් ජීවිතේ අත්වින්ඳ වඩාත්ම අප‍්‍රසන්න සිද්ධියක ප‍්‍රතිඵලයක් විදියට, තමන්ගේ අරමුණු, හීන හැම එකටම නැවතීමේ තිත තියාගෙන උපදින දරුවෙක් එක්ක කාන්තාවකට (සමහර විට එයත් අවුරුදු 13-14ක දරුවෙක් වෙන්නත් පුළුවන්* ගෙවන්න සිද්ධ වෙන ජීවිතයත් ගොඩක් වේදනාකාරී වෙන්න පුළුවන්. ඒක ජීවිත කාලයක් ගෙවන්න සිද්ධ වෙන වේදනාවක්.
‘‘මට දහස් ගාණක් තීරණකාමී කාන්තාවන් සහ පිරිමින් මුණගැහිලා තියෙනවා. ඒත් මට කවදාවත් ගබ්සාකාමී කෙනෙක්ව නම් හම්බවෙලා නෑ. අභිමතකාමී වෙනවා කියන්නේ ගබ්සාකාමී වෙනව කියන එක නෙවෙයි. අභිමතකාමී වෙනවා කියන්නේ ආණ්ඩුවේ හෝ වෙනයම් බලාධීකාරියක බලපෑමෙන් තොර ව, තමන්ට, තමන්ගේ පවුලට අවශ්‍ය මොකක්ද කියන දේ නිවැරදි ව තීරණය කරන්න පුද්ගලයකුට තියෙන හැකියාව ගැන විශ්වාසය තැබීමයි.’’
- හිලරි ක්ලින්ටන්
කවුරුත් විනෝදය පිණිස ගබ්සාව කරගන්නේ නෑ. ඒ වගේ ම බොහෝ දෙනකුට ශාරීරික වශයෙන් මෙන් ම මානසික වශයෙන් ද තරමක වේදනාකාරී අත්දැකීමක්. නමුත් කෙනකුට ඒ වේදනාව නොතකා ගබ්සාව තෝරාගන්න සිද්ධවෙන්නේ ඒ හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නැති නිසයි. නොදැනුවත්කම, අතපසුවීම හෝ සමහර විට තමන්ගේ කැමැත්තකින් තොර ව බලහත්කාරයෙන් සිදු වුණු ගැබ්ගැනීමකින් තමන්ගේ සම්පූර්ණ ජීවිතය ම අවුල්වෙන එක වලක්වාගන්න එක වරදක්ද?
ලංකාව වගේ රටවලට එනකොට ගබ්සාව පිළිබඳ තියෙන විවාදය මීටත් වඩා ගොඩක් පටු තැනකට එනවා. ගතානුගතික ආගමික මතවාද, සුචරිතවාදී සංස්කෘතික බලවේග මත තමයි ලංකාවේ ගබ්සා විරෝධය ගොඩනැගෙන්නේ. පුද්ගල නිදහස කියන සංකල්පයක් ගැන හැඟීමක්වත් නැති, අනුන්ගේ ජීවිත තමන් හිතන විදියට පැවතිය යුතුයැයි හිතන, ඒ ජීවිතවලට බලපෑම් කිරීමෙන් සතුටට පත් වෙන සංස්කෘතියක් ඇතුලේ ගබ්සාවක් සිදුකරගන්නා තැනැත්තිය පව්කාරියක් ලෙස නම්කර ඇයට ගල් ගහන්න බලන් ඉන්න සමාජයකට ඒකේ තියෙන තාර්කික-අතාර්කික භාවය එතරම් වැදගත් වෙන්නේ නැහැ.
ලංකාවේ ගබ්සාව මුළුමණින් ම පාහේ නීතිවිරෝධීයි. ඒත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිළ සංඛ්‍යා ලේඛණ වලට අනුව ලංකාවේ අවුරුද්දකට ගබ්සා ලක්‍ෂ 3ක් විතර සිද්ධ වෙනවා. ඒ කියන්නේ දවසකට සිද්ධ වෙන ගබ්සා ප‍්‍රමාණය 800කට වැඩියි. කොහාම වුණත් මේ සංඛ්‍යාව බොහෝ විට මීට වඩා බොහෝ වැඩි විය හැකි බවත් ඔවුන් ම පිළිගන්නවා.
මේ හැම ගබ්සාවක්ම සිද්ධවෙන්නේ හොර රහසේ. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් යම් පහසුකම් තියෙන ස්ථානයක සිද්ධකරන ගබ්සාවක ඉඳන් අතිශය නොදියුණු ආකාරයට, කිසිදු දැනුමක් නැති පුද්ගලයින් අතිශය අනතුරුදායක ක‍්‍රම භාවිතා කරමින් සිදුකරන ගබ්සා දක්වා විවිධ ක‍්‍රමවලට මේ ගබ්සා සිද්ධවෙනවා. ඒත් එක දෙයක් පැහැදිළියි. මොන ආකාරයට කෙරුණත් මේ විදියට හොර රහසේ සිදුවන ගබ්සාවකින් පසු යම් ගැටලූවක් හෝ අසාධ්‍ය තත්ත්වයක් ඇති වුණොත්, ඔවුන්ට පිළිගත් රෝහලක හෝ පවතින සෞඛ්‍ය පද්ධතියක පිහිට ලබාගන්න විදියක් නෑ. සමහර විට මෙහි අවසාන ප‍්‍රඵීඵලය විදියට අදාළ කාන්තාවගේ ජීවිත කාලයට බලපාන ආකාරයේ ආබාධයක් ඇතිවෙන්න, නැත්නම් ජීවිතයෙන් වන්දි ගවන්න පවා සිද්ධවෙන්න පුළුවන්.
ලංකාව තුළ පසුගිය කාලය තුළ ළමා ලිංගික අපචාර හා අඩු වයසින් ලිංගික ක‍්‍රියාකාරිත්වයට එළඹෙන ප‍්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා. නමුත් උපත් පාලනය වැනි දේවල් පිළිබඳ විධිමත් ලිංගික අධ්‍යාපනයක් ගැටවර වියේ දරුවන්ට තබා බොහෝ විට දරුවන් කිහිප දෙනකු සිටින වැඩිහිටියන්ටවත් නැහැ. මේ වගේ තත්ත්වයන් තුළ එවැනි කෙනකුට ඇති වන අනපේක්‍ෂිත ගැබ්ගැනීමකින්, ඔවුන්ගේ අධ්‍යාපනයත්, ඉදිරි ජීවිතයත් විතරක් නෙවෙයි, ඔවුන්ගේ සම්පූර්ණ පවුල ම පවා ඇතැම් විට බිඳවැටෙන්න පුළුවන්.
ඒ වගේ ම දැනටත් දරුවන් කිහිපදෙනකු සිටින, ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් පවුලකට අනපේක්‍ෂිත විදියට තවත් දරුවෙක් ලැබුණොත්, ඔවුන් ආර්ථික අගාධයේ තවත් ගැඹුරට ගිලීගොස් දැනට සිටින දරුවන්ගේ අධ්‍යාපනය හා පෝෂණයටත් එය අනර්ථකාරී විදියට බලපාන්න පුළුවන්. ජාතිය රැුකගැනීම වෙනුවෙන් වැඩිවැඩියෙන් දරුවන් හැදීමට උනන්දු කරන සංවිධාන කොතෙකුත් තිබුණත් බොහෝ විට ඒ දරුවන්ට කන්න බොන්න දෙන්න වෙන්නේ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට ම තමයි.
බාලවයස්කාරියකට සිදු වූ ලිංගික බලහත්කාරකමක ප‍්‍රතිඵලයක් හැටියට සිදු ව ගැබ්ගැනීමක දී, එහෙමත් නැත්නම් විකෘති කළලයක් ඇති අවස්ථාවක දී වගේ ඉතා ම සීමිත අවස්ථාවල දී විතරක්වත් ගබ්සාවට ඉඩදිය යුතු බවට යෝජනාවක් පසුගිය කාලයේ ඉදිරිපත් වුණා. වසර කිහිපයක් ගෙවිලා අද වන විටත් ඒ යෝජනාවලට සිදු වූ දෙයක් නැහැ.
සමහර විට අප වැනි අවුරුදු දෙදහස් ගණනක ඉතිහාසයක් ඇති රටකට මේ වගේ දේවල් නොගැලපෙතැයි කියා කවුරු හෝ ඒ යෝජනා කුණු කූඩයට දැම්මා වෙන්න පුළුවන්. මිනිස් ජීවිතවලටත් වඩා කැපවීමෙන් හරකුන්ගේ ජීවිත පවා රැුකගන්නට සටන් කරන සිංහල බෞද්ධ මහත්වරුන්, මෙවැනි බටහිරින් එන යෝජනා පරාජය කර තමන් සිදුකරගත් මහා පුණ්‍යකර්මය ගැන සතුටින් පසුවනවා වන්නටත් පුළුවන්. ඒත් ‘‘ගබ්සාව නමැති ප‍්‍රාණඝාතයෙන්’’ වලකා ඔවුන් උපද්දන ‘‘ජීවිත’’ ගැන එතනින් එහාට කවුරුත් කතාකරන එකක් නෑ. මන්දපෝෂණයෙන් පෙළෙමින්, කිසිවකුගේ ආදරයක් නොලබා, මහ පාරේ, නැත්නම් මුඩුක්කුවක ගෙවෙන ඒ ‘‘ජීවිත’’ ගැන, නොයෙක් අපචාරයන්ට ලක් ව, සමාජ විරෝධී ක‍්‍රියාවලට යොමු වී හිරගෙදරින් ඒ ‘‘ජීවිත’’ කෙළවර වෙන එක ගැන කවුරුත් වදවෙන එකක් නෑ. ඒ ජීවිතත් එක්ක ගැටගැහිලා මැරෙනකන් ම ඒකෙන් විඳවන, සමහර විට ඒකෙන් ම මැරෙන ‘‘ජීවිත’’ ගැනත් මේ කාටවත් මතක් වෙන එකක්වත් නෑ. මේ විදියට ‘‘අමානුෂික ගබ්සාවෙන්’’ ඒ ‘‘ජීවිත’’ බේරගෙන, ඒ පින් බලෙන් නිවනට හෝ ස්වර්ගයට යන්න බලන් ඉන්න අයට ඒ ‘‘ජීවිත’’ ජීවිත කාලය පුරාවට නගන දුක් අඳෝනා කණකටවත් ඇහෙන එකක් නෑ.
ගබ්සාව කියන්නේ ප‍්‍රචලිත කළ යුතු වත්, ප‍්‍රවර්ධනය කළ යුතු දෙයක් වත් නෙවෙයි. ප‍්‍රචලිත කළ යුත්තේ උපත් පාලනය සඳහා ඇති වෙනත් උපක‍්‍රම සහ ලිංගික අධ්‍යාපනයයි. ඒත් මේ දේවල් මගඇරුණු කෙනෙකුට, ජීවිතයේ සිදු වූ එක අතපසුවීමක් හෝ වැරදීමක් නිසා මුළු ජීවිත කාලයට විඳවන්න ලක්කරන එක කොහෙත්ම සාධාරණ නෑ. තමන්ගේ ශරීරය අයිති තමන්ට. තමන්ගේ ජීවිතය අයිති තමන්ට. තමන්ට අයිති ශරීරය ගැන, තමන්ට අයිති ජීවිතය ගැන තමන්ට කැමති තීරණයක් ගන්න අවස්ථාව කෙනකුට දුන්නොත්, ජීවිතයේ සිදු වූ එක් වරදක් නිවැරදිකරගන්න අවස්ථා දුන්නොත්, සමහර විට එයාටත් ජීවිතයක් තියේවි.
‘‘ජීවිතේ කියන්නේ හුස්ම වැටෙන එකට විතරක් නෙවෙයි.’’