Monday, January 13, 2014

ආශ්චර්යයේ මායාව

2005 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයට පත්වෙද්දි රටටම ‘සුභ අනාගතයක්’  ලබා දෙන්න පොරොන්දු වුණා. ඒ කියපු විදිහටම සියළුම සංවර්ධන වාර්තා වලට අනූව, ලංකාව අද ඉතාමත් ඉහල සංවර්ධනයක් ලබල තියෙනව. ඒත් ඒ සංවර්ධන වාර්තා වල දත්තයන්ගේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව ලඟදි එක එක කතා පැතිරුණා. ඒ කොහෙම වුණත් මේ සංවර්ධනයේ මොකක් හරි හිඩසක් තියෙනවා කියල නම් මේ වෙනකොට සමහර මිනිස්සුන්ට තේරිල තියෙනවා. කොයි තරම් මිනිස්සුන්ට ඒ දේවල් තේරුණත් කටක් අරින්නෙ නැති විදිහට ඒ අයව නිශ්ශබ්ද කරල තියන්න මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට පුළුවන්. එහෙම බලනකොට මේ ආණ්ඩුව ඇත්තටම හරිම දක්ෂ ආණ්ඩුවක් කියල තමයි කියන්න වෙන්නෙ. මොකද ඇත්තටම විපක්ෂය ආණ්ඩු පක්ෂය වෙලා ඉන්න කාලෙ ලංකාවට කැසිනෝ ගේන්න ගියා නම් හරි, මේ විදිහට පවුල් බලයක් ගොඩනැගෙන්න ගත්තනම් හරි, මිනිස්සු අතුරුදහන් වෙන්නයි ඝාතනය වෙන්නයි ගත්තනම් හරි, බඩු මිල වැඩි වෙන්න ගත්තනම් හරි මිනිස්සු කුලප්පු වෙලා උද්ඝෝෂණ කරල සෑහෙන්න වික‍්‍රම පානවා. ඒත් ප‍්‍රශ්නෙ තියෙන්නෙ අද වෙද්දි මොන දේ වුණත් ප‍්‍රශ්ණයක් නැති ගාණට මිනිස්සු අඳ, ගොළු, බිහිරි වගේ තත්ත්වෙකට පත්වෙල ඉන්න එක. මම හිතන්නෙ එහෙම වෙන්නෙ, ගොඩක් මිනිස්සු කියන විදිහට කන්න නැති වුණත් රට, ජාතිය බේරගෙන කිසිම බයක් නැතුව පාරෙ බැහැල යන්න පුළුවන් වෙන්න යුද්ධෙ ඉවර කරපු නිසා වෙන්න ඇති. ඒ වගේ හිතන මිනිස්සු ඉන්න රටකට නම් ආර්ථිකය ගැනවත්, දේශපාලනය ගැනවත් කිසි දෙයක් කියල වැඩක් නෑ. මොකද මිනිස්සුන්ට ඒ දේවල් ඇහෙන්නෙ නෑ කියල මේ වෙද්දි හොඳටම පැහැදිලියි.

මේ වෙනකොට ගාලූ පාරයි, හොරණ පාරයි දෙකම කාපට් කරල හදනවා. ඒකෙ තියෙන ආශ්චර්යය කියන්නෙ මිනිස්සුන්ට පැයකින් යන්න තියෙන ගමනට  දැන් පැය 2-3ක් විතර යනවා. ඒත් මිනිස්සු නම් මුකුත්ම කියන්නෙ නෑ. මොකද ඒක හැදුවට පස්සෙ පාරවල් ලස්සන වෙලා රට දියුණු වෙනව කියල ආණ්ඩුවෙන් පෙන්නල දීල තියෙනවනෙ. අනේ ඒ නිසා වැඩ ඉවර වෙලා පැයෙන් ගෙදර යන මනුස්සයා පැය 2-3ක් විතර පරක්කු වෙලා යනවා. මටත් ගිනි රස්නෙ පිච්චි පිච්චි බස් එකේ එද්දි සුභ අනාගතයක පෙරනිමිති වගේම ආශ්චර්යයේ අසිරියත් හොඳටම පේන්න පටන් ගත්ත. නගර අලංකරණය කියල විහාරමහාදේවි එකේ තියෙන අවුරුදු ගාණක් පරණ ගස් කපල ගිනි ගහන අව්වෙ ළමා සෙල්ලම් පිට්ටනියක් හදලා. මේ හැම ව්‍යාපෘතියකින්ම කොයි තරම් මුදල් ප‍්‍රමාණයක් නාස්ති වෙනවද, ඒවට කොයි තරම් කොමිස් දෙනවද.. මේ දේවල් මිනිස්සු දන්නවා ඒත් ඒ දේවල් ලංකාවේ මිනිස්සුන්ට අදාල නෑ. ‘හැම ආණ්ඩුවක්ම එහෙම තමයි’ කියල ඒක සාධාරණීකරණය කරගන්නවා. මේ වගේ සැලසුම් වලින් රට දියුණු වෙනව කියල හිතන්න තරම් මිනිස්සු පටු වුණේ කොහොමද කියල මට තේරුම් ගන්න අමාරුයි.

ජේ.වී.පී එකෙන්වත් යූ.එන්.පී එකෙන්වත් මොන තරම් දේවල් ගෙනත් පෙන්නුවත්, කොයි තරම් කෑ ගැහුවත් ඒ කිසිම දෙයක් මේ මිනිස්සුන්ට දැන් ඇහෙන්නෙ නෑ. මොකද ඒ හැමදෙයක්ම යටගහන්න පුළුවන් විදිහට මිනිස්සුන්ගෙ ජාති ආලය උඩට උස්සුල තියෙන්නෙ. ඒ නිසා මානව හිමිකමුයි, ඇමරිකාවයි, NGO යි විකුණ විකුණ මේ ආණ්ඩුව ඒ අයගේ සුභ සිද්ධිය හදාගන්නවා. ඒකට හොඳම උදාහරණය තමයි, මාර්තු වල එන ජිනීවා සමුළුවෙදි ‘ලංකාව විනාශ කරන්න එන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ වලට ඉඩ දෙන්න එපා’ කියල කෑගහල, සමහර අය නොකා නොබී උද්ඝෝෂණ එහෙමත් කරල කොහොමහරි බස්නාහිර ඡුන්දෙදි මිනිස්සුන්ගෙන් ඡුන්දෙ කඩාගන්න හදන එක. ඒක තව ටිකක් හොඳින් කරගන්න අපේ ජනාධිපතිතුමා ඉඳල හිටලා ගිහිල්ල පොඩි එකෙක්ව වඩාගෙන, වයසක ආච්චි කෙනෙක්ගේ ඔළුව අතගාලා එනවා. ඒ හින්ද අපේ රටේ මිනිස්සුන්ට ජනාධිපතිව දැනෙන්නෙ අපේ කෙනෙක් විදිහට. ගමේ මිනිහට ඒක තව ටිකක් ළංවෙලා ගමේ කෙනෙක් විදිහට දැනෙනවා. ඒ දැනෙන විදිහ නිසාම කොයි තරම් ප‍්‍රශ්ණ තිබුණත් ඇස් දෙක වහගෙන ගිහින් ‘අපේ නායකයට’ ඡුන්දෙ ගහල එනවා. ඒ මිනිස්සුම ඊට පස්සෙ හිතනව, ආණ්ඩුව වැරදි කරන්නෙ ශක්තිමත් විපක්ෂයක් නැති නිසා ඒ හින්ද එයාලට තියෙන ප‍්‍රශ්ණ විසඳන එක සිවිල් සංවිධාන වල හරි විපක්ෂෙ හරි වගකීමක් කියල. ඉතින් ඒ චින්තනය වෙනස් වෙනකල් මේ තියෙන අර්බුධ ඒ විදිහටම හරි තව ටිකක් වැඩි වෙලා හරි ඉස්සරහට ඒවි.

ඒ මොනා වුණත් මේ ආණ්ඩුුවට පාරවල් හැදීම ගැනයි, මිනිස්සුන්ට ඇන්දවීම ගැනයි සෑහෙන්න හොඳ පලපුරුද්දක් මේ වෙනකොට තියෙනවා. ඒ වගේම ගොඩක් හොඳට ඇඞ්වර්ටයිසිනුයි, මාර්කටිනුයි පාවිච්චි කරන්නත් දන්නවා. ඒ නිසා වැඩි වැඩියෙන් පාරවල් හැදෙන, ලොකු ලොකු අයට වැඩි වැඩියෙන් කොමිස් ලැබෙන ආශ්චර්යමත් රටක් ලැබීම පිළිබඳව කිසිම ගැටළුවක් නැතුවම ලංකාවාසී සියල්ලන්ම ඉත සිතින් සතුටු වනු නොඅනුමානය.

No comments:

Post a Comment